Home

අගනුවර තරුණ කවි සමාජය – අතකස ආරම්භ කෙරුණේ 1935 දිනෙක කොළඹ වික්ටෝරියා උද්‍යානයට එක්වූ කවීන් පස් දෙනෙක් විසිනි. ඒ එකල කොළඹ යුගයේ නම් දරා සිටි කොල්ලුපිටියේ පී .බී .අල්විස් පෙරේරා, බරන්දෙණියේ ආර්. විල්සන් හෑගොඩ, කඩවැද්දුවේ පීටර් පෙරේරා, කොළඹ ආතර් ඇම්. ද අල්විස් සහ කේ. ලයනල් පෙරේරා යන තරුණ කවීන් ය. මුලස්ථානය වූයේ දෙමටගොඩ ජේ. සී. ජයතිලක කවියාණන් ගේ ‘ජය නිවස’ ය. අතකසයේ පළමු සභාපති ලෙස පත්වූයේ අල්විස් පෙරේරා මහතාය. ලේකම් වරයා ලෙස විල්සන් හෑගොඩ මහතා ද (වසර තිස් පහක්) සහ භාණ්ඩාගාරික ලෙස ජේ. සී . ජයතිලක මහතා ද පත් වූහ . එතැන් පටන් මේ දක්වා සභාපතිවරු දාහත් දෙනෙක් එම නිලය හොබවා ඇත. විමලරත්න කුමාරගම, යූ .ඒ.ඇස්, පෙරේරා, සාගර පලන්සුරිය, එච්. ඇම්. කුඩලිගම, විමලේන්ද්‍ර වතුරේගම, විමලසිරි පෙරේරා, චිත්‍රානන්ද අබේසේකර, සේසිරි විජේසේකර සහ ප්‍රනීත් පෙරේරා කිවිවරුන් මෙන්ම ප්‍රවීන කවින්ද්‍රයන් කිහිපයක් ඒ අතර සිටිති. ආනන්ද කවිරත්න, පී.බී.අල්විස් පෙරේරා,විමල් අභයසුන්දර, සේසිරි විජේසේකර, මර්වින් සේනාරත්න. ධර්ම ශ්‍රී මුද්දුවගේ, නන්දසේන පලිහක්කාර, ආර්. පාලිත හෑගොඩ, ජනාර්ද ආසිරි විජේසේකර, ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි සහ අනුර හෑගොඩ සම ලේකම් පදවි හොබවා තිබේ. ඇම්. ඇස්. ද සිල්වා , නාකුළුගමුවේ ගුණරත්න කිවීහු භාණ්ඩාගාරික පදවි ඉසුලූ හ.